ඔබ යම් දිනයක ඔබේ මුහුණ සැබෑවටම දැක තිබේද.? පිළිතුර නැහැ. ඔබ බොහෝවිට ඔබේ මුහුණ දකින්නේ ඔබේම ප්‍රතිබිම්බයක් වශයෙන් කැඩපතකින්. එහෙමත් නැත්නම් ජායාරූපයකින්.
ඔබට ඔබගේ මුහුණේ ස්වරූපය නිවැරදිව, විරූපී බවකින් තොරව දකින්නටනම් ඇද පලුදු වලින් තොර දර්පණයක් අවශ්‍යයි. යම්කිසි අවස්ථාවක එවැනි පලුදු වූ කැඩපතක් හරහා ඔබේ මුහුණේ ප්‍රතිබිම්බය විරූපීව දුටුවහොත් ඔබ වහාම එය ඉවතලා නව කැඩපතක් මිලට ගැනීමට පෙළඹෙනවා. ඒ හරහා ඔබට යළි ඔබව දැකිය හැකියි. නමුත් එය හුදෙක් ප්‍රතිබිම්බයක් පමණයි.
එහෙත් ඔබට ඔබව නිවැරදිවම දැකිය හැකි කැඩපත කුමක්දැයි ඔබ කිසිදිනෙක සිතා තිබේද.? බොහෝවිට එවැන්නක් ඔබට සිහි නොවන්නට ඇති. ඔබට ඔබව නිවැරදිවම දැකිය හැකි කැඩපත බවට පත්වන්නේ ඔබේම මනසයි. පලුදු වී ගිය කැඩපතකින් ඔබේ ප්‍රතිබිම්බය විකෘතිවන්නේ යම්සේද, මනස ව්‍යාකූල වී පලුදුවූ විට ඔබට ඔබව නිවැරදිව දැකගන්නට නොහැකිවනවා.
ඉතින් දැන් ඔබට ඔබේ මනස පළුදු නොවී පවත්වාගන්නේ කෙසේදැයි ගැටලුවක් පැනනගින්නට ඇති. ඔබේ මනස හුදෙක් ජල බඳුනක් හා සමයි. එයට පවතින්නට හරින්න..එවිට එය ස්වභාවිකවම නිශ්චලත්වයට පත්වේවි. මනස හුදෙකලාවේ තබන්නට උත්සාහ කරන්න එය එවිටද නිශ්චලත්වයට පත්වේවි. නමුත් ඔබ හුදෙකලාවට සහ නිහැඩියාවට බියනම්, ඔබ ඔබේ මනස සමග තනිවීමට බිය දුර්වලයෙක් බව වටහාගෙන, මනස සමග තනිවීමට ඔබ තුල ඇති බිය පලවාහරින්න. බාහිර සාධක සමග ගනුදෙනු කිරීමේදී ඇතිවන වේදනාවන් සහ කැලඹීම් හරහා ඇතිවන කම්පනය අවශෝෂණය කරගැනීමට එවිට ඔබට හැකිවේවි.
මෙම මනස නමැති කැඩපතක් වන් ජල බඳුනෙන් ඔබට ඔබවම දිස් වන්නේ එය නිශ්චලව, පිරිසිදුව තිබෙන විට පමණයි. ප්‍රායෝගිකව ජලය මත අපේ ප්‍රතිබිම්බ දැකීමේදි අප එය අත්දැක තිබෙනවා. ජලය පිරිසිඳු වන තරමට එහි ගැඹුරද පැහැදිලිව පෙනෙනවා. සිතන්න, ඔබ එම ජල බඳුන කලම්භනයට පත් වන්නට ඉඩ හැරීමෙන් එය වටා ඇති කසල ජලය ඇද ගන්නවා මෙන්ම වටා පිටාවටද ජල තරංග හරහා කසල හලනු ලබනවා. එමඟින් ඔබේ ජල බඳුන පමණක් නොව, අවට ඇති ජල බඳුන් ද ඔබේ කසල වලින් දූෂ්‍ය වෙනවා,ඔබේ ජල බඳුනද එම බඳුන්හි කසල වලින් දූෂ්‍ය වූ ලෙසම. එබැවිම් ඔබේ මනස නමැති මෙම ජල බඳුනේ කසල වහාම ඉවත් කොට හරින්න. නිරන්තරයෙන් ජල බඳුන නිශ්චලව තබන්න, වතුර පල් වී ඇත්නම් නැවුම් පැන් පුරවන්න. පිවිතුරු, නිසල ජලය මත ඔබේ පිළිඹිබුව මෙන්ම එහි ගැඹුරද මනාව දිස් වේවි.
ඔබව දැක, හඳුනාගැනීමෙන් ඔබට ඔබේ මනස මෙන්ම පිවිතුරු නිශ්චල දිවි පෙවෙතක් ගත කිරීමට හැකි වේවි.

No comments:
Post a Comment