Sunday, April 30, 2023

ඔබ සමග සටන් කරන දරුණුම රණශූරයා...



ඔබේ ජීවිතයේ ඔබට එල්ල වූ විවිධ අපහාස නින්දා ඉදිරියේ ඔබ දැඩි කෝපයට පත් වුණු අවස්ථා ඕනෑතරම් මුණගැසී ඇති. නමුත් එවැනි අවස්ථාවලදී ඔබ එතරම් කෝපයටත් අපහසුතාවයටත් පත් වන්නේ කුමක් නිසාද කියා ඔබ මොහොතකට හෝ සිතුවාද.? 

" මමත්වය " ඔව් ඒ මමත්වය නිසා. ඔබට හැකිනම් ඒ චෝදනා සහ අපහාස හුදෙක් ශ්‍රවණ මාත්‍රයක් පමණක් බවට පත් කරගන්න.  එතැන් පටන් ඔබේ ජීවිතයේ ඔබ මුහුණ දෙන බොහෝ ගැටුම්කාරී, ආවේගශීලී අවස්ථාවන් මගහැරගන්නට හැකියාව ලැබේවි. 


බොහෝ අය මෙම මමත්වය එහෙමත් නැතිනම් ego එක, self love, dignity ,ආත්ම ගෞරවය , අභිමානය, පෞරුෂය යනාදි ඒවා සමඟ පටලාගන්නවා. සැබැවින්ම වන්නේ මමත්වය නිසා අර කී අභිමානය යනාදී දෑ බිඳී යාමත් වන අතර මමත්වය ඉහල වීම පෞරුෂයක් නොමැති අයගේ ලක්ෂණයක් වේ.  මමත්වයෙන් ඉහළ පෞරුෂය හීන අය දැනුවත්ව හෝ නොදැනුවත්ව අන්‍යන්ව රිදවමින්, වට්ටමින්, අන්‍යන් වැරදි බවට ඔප්පු වන ලෙස පහත් ක්‍රියා කරමින් කැපී පෙනීමට උත්සහ දරනවා.  ඉතින් ඔවුන් නොදැනුවත්ව ඔවුන් විහිලුවක් බවට පත් වෙනවා. මෙම මමත්වය හීන කල අයටද සමාජයේ දැඩි අවලාද නැගෙන අතර ඔවුන්ගේ පෞරුෂයයේ ඉහල බව නිසා ඔවුන් නොසැලී ඉන්නවා. සමකාලීන සමාජය එය අවබෝධ නොකරගන්නා මුත් පසු කාලීනව සත්‍ය හෙලි වෙනවා ( උදාහරණ ලෙස ගැලීලියෝ, ජේසුස් හා බුදුන් දෙස බලන්න). 


මමත්වය අවබෝධ කරගැනීමෙන් අනතුරුව, ඔබට තවදුරටත් නඩත්තු කලයුතු සමාජමය හෝ පුද්ගලබද්ධ ප්‍රතිරූපයක් නොමැති නිසා, එතැන් පටන් ඔබට ඔබේ ශුද්ධ ස්වභාවය. නොහොත් ඔබට ඔබවම මුණ ගැසේවි. මමත්වය තිබෙන තාක් කල් ඔබට ඔබේ සත්‍ය හඳුනාගැනීම උගහටය. එනිසා ඔබ ඔබේ බාහිර ලකුණු කීපයකට රැවටී "මේ සිටින්නේ මම" යයි සිතාගෙන සිටිනවා. මමත්වය මරා දැමීමට මම යනු පවතින දෙයක් නොවේ යන සත්‍ය අවබෝධ කරගත යුතුයි . මේ සත්‍ය අවබෝධ කරගැනීමට කුහකත්වය, ඊර්ෂ්‍යාව , මාන්නය, ක්‍රෝධය , ද්වේශය, අසංතෘප්ත හැඟීම්, වෛරය, භෞතික දෑ සඳහා පවතින අධික ආශාව, ආත්මාර්ථකාමී බව වැනි ඍණාත්මක හැඟීම් නිහතමානී බව, විවෘත මනස, සැමට දක්වන කරුණාව , මෛත්‍රීය , අනුකම්පාව , ආදරය සහ පරාර්ථකාමි බුද්ධිමත් පිවිතුරු අරමුණු වලින් ශෝධනයට ලක් කල හැක. එමෙන්ම, සත්‍ය වටහා ගැනීමටත් එය පිළිගැනීමටත් යම් මානසික ශක්තිමත් බවක් අවශ්‍යය. මේ ආකාරයට මමත්වය මියගිය විට ඔබේ ආත්මයත් ආධ්‍යාත්මයත් අවධිවන නිසා එතැන්පටන් ඔබේ ජීවිතය බොහෝ නිරවුල් ගමන් මගක් ඇති ජීවිතයක් බවට පත් වේවි. එමෙන්ම ඔබේ පෞරුෂය හා ආත්මාභිමානය නොදැනුවත්වම දියුණු වේවි. එමෙන්ම විශ්වාස කරන්න, ඔබ නිතරම සිහින දකින සුන්දර, සියුම් ෆැන්ටසීන් සහ අවස්ථා ඔබ අත්නොදැකි ඒ සියල්ලම මෙකී ආධ්‍යාත්මික දෑ වලින් පසුව අත්දකින්නට ලැබෙනවා. 


නමුත් මමත්වය නම් දරුණු රණශූරයා පරාජය කිරීම පහසු නැහැ. බොහෝවිට ඔබට හැකියාව ලැබෙන්නේ මේ රණශූරයා තාවකාලිකව යටපත් කිරීමට පමණයි. එහෙත් මොහොතකට ඔබ මෙතෙක් ගොඩනැගූ  සමාජමය වටපිටාවෙන් සහ ඔබ ගොඩනැගූ පුද්ගල ප්‍රතිරූපයෙන් මිදී ඉන් ඉවතට විත් ඔබ දෙස බලන්න.. ඔබ මන්දාකිණි,චක්‍රාවාට දහස් ගණනක් අතුරින් ග්‍රහලෝක අසංඛ්‍ය ප්‍රමාණයක් අතුරින් ජීවයට සුදුසු ග්‍රහලෝකයක මනසින් උසස් ජීවියෙක් ලෙස උපන් අයෙක්. ඔබ උපතින්ම ජයග්‍රාහකයෙක්.දැන් ඔබ අසිපත අතට ගෙන ඔබ ඉදිරියේ  අවි අමෝරා සිටින මමත්වය නම් භයානක රණශූරයා සමග සටන් කිරීම අරඹන්න..ජීවිත කාලය පුරාවටම ලෝකයා සමග වාදකරගනිමින් සහ නිර්වාචිකව හෝ තරඟකාරී වෙමින් සටන් කරනවාට වඩා මේ මොහොත තුල තමන්ගේ මමත්වය සමග සටන් කර එය යටපත් කර දැමීම කොතරම් හරවත්දැයි ඔබට එවිට වැටහෙණු ඇති. දැන්ම ඇස් හැර අවධි වී මේ භයානකම රණශූරයා අර කී යහපත් ආයුධ වලින් විනාශ කොට පිවිතුරු දිවියකටත්, මනා පෞරුෂයකටත් හිමිකම් කියන්න.

Tuesday, April 11, 2023

ඔවුන් කව්ද? ඔබ කව්ද?

 මෙය කියවන ඔබ, ඇතැම් විට ඔබ පිළිබඳව විවිධ වූ දේ මතක් වීමෙන් ඔබ කලබල වනු ඇත. නැතිනම් සන්තුෂ්ටියට පත් වනු ඇත. තරමක් දිගු ලිපියක් වන මෙය කියවා ස්වකීය ගුණාගුණ සමබරව වටහාගන්නේ නම් ඔබ බුද්ධිමත්, යහපත් පෞර්ෂයකින් හෙබි අයෙකි. 

ලොව වෙසෙන්නේ අළු මිනිසුන් යයි කීවද බහුතර ජනයා වූ සාමාන්‍ය ප්‍රවාහයට බොහෝ විට ඇත්තේ වඩා කළු පැහැයට බර අළු පැහැයකි. කිසිවෙක් සර්ව සම්පූර්ණ නොවන බව සත්‍යක් වූ මුත් එය එසේයයි පිළිගෙන මරණය දක්වා අසම්පූර්ණත්වය නඩත්තු කිරීමෙන් ස්වයං පරිහානියට පත් වේ. සිතන්න, ඔබ වංක චේතනාවෙන් ඔබේ භෞතිකමය, වාණිජමය, අරමුණු, අවස්ථා සාක්ෂාත් කරගන්නවා කියා. එහෙත් එය තාවකාලික සුඛයට හේතු වන නුමුදු, සදාකාලික දුගතියට හේතු වේ. මන්ද එය ඔබේ පශ්චාතාපයට හේතු වනවා මෙන්ම, නිව්ටන්ගේ තෙවන නියමය වන සෑම ක්‍රියාවකටම ඊට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් ඇත යන වාක්‍ය සඵල කරනු ඇත. 



සාමාන්‍ය ප්‍රවාහයේ බහුතරය බොහෝ විට අතිශය ගැඹුරු සංකල්ප කෙරෙහි අවංක අවධානය නොදක්වයි, එමෙන්ම තමා පිළිබඳ ගවේෂණයේ නොයෙදෙයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ගැඹුරු දෑ පිළිබඳ උනන්දු බව ලෝකයාට පෙන්වමින් තමාගේ දෑ ව්‍යාජ ලෙස සරසා ලෝකයාට පෙන්වීමයි. ඔවුන්ගේ මමත්වය අධික වන අතර සිය වැරදි වසා ගැනීමට විව්ධ දේ කරයි.ශේප් න්‍යාය භාවිත කරයි. එමෙන්ම, ඔවුන්ගේ ජීවිත අරමුණ බොහෝ විට give and take හි take පමණක් ඇති ඒවා වේ. එනම්, තමාට ලැබිය යුතු භෞතික දේපළ, කීර්තිනාමය, තමාගෙන් නමක් යන ලෙස වන සේවාව වැනි ලොව අනෙකුත් දෑ තමාට ක්ෂය වන ආත්මාර්ථයෙන් බහුල අරමුණු වේ. ඔවුන් මේවා ඔවුන් ගෙ වටා සිටින විවිධ අයව විවිධ ඇමවල් යොදාගෙන ඒ අයට නොදැනී ඒ අයව භාවිත කරමින් කිරීමට පෙළඹෙයි. මොවුන් තමාගේ සැබෑ ස්වරූපය ගැන අර්ධ ලෙස දැනුවත් අතර එසේ නොවන අවස්ථාද ඇත. මෙම හේතූන් නිසා ඔවුන් ව්‍යාජ ප්‍රතිරූපයක් සමාජය ඉදිරියේ මවාපාමින්, විවිධ උපායන් යොදමින් හැසිරෙයි. මෙම සත්‍ය යම් අයෙක් හෝ පිරිසක් වටහා ගත් කල ආවේගශිලි ලෙස හැසිරෙමින් ස්වයං ප්‍රතිරූපය ශෝධනය කරයි. ඉංග්‍රීසි බසින් මෙයට victim play යනුවෙන් කියන අතර එය ඉතා පහත් ක්‍රියාවක් වේ. එමෙන්ම, එය වටහාගත් අයත් ඔවුන්ගේ ස්වරූපයටම සමාන නම් ඒ අයට ඉක්මනින් එය අමතක වන අතර ඔවුන් සාමාන්‍ය ප්‍රවාහයේ නොවේ නම්, කිසිදා අමතක නොවනු ඇත.

මොවුන් බොහෝ විට නිහඬ අය නොවෙති. නිහඬ චරිත පිළිබඳ දේවකතා යනාදියෙන් වත්මන දක්වා එන යහපත් ප්‍රතිරූපය නිසා ඔවුන් නිහඬ චරිත මෙන් ඇතැම් විට පෙනී සිටිනු ඇත. ගුප්ත චරිත මෙන්ම සරල, සංකීර්ණ චරිත මේ අතර වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, කුහකත්වය වැනි කෙලෙස් වලින් මොවුන් නිතරම පිරී ඇත. වත්මන් ව්‍යවාහාරයේ මොවුහු මෙයට ඇරියස් යනුවෙන් කියති. ඔවුන් සතුව ඇති මෙම "ඇරියස්" නිසා ඔවුන් සෙස්සන්ටත් ඒවා ඇති බව සිතයි. අවම සංඛ්‍යාත වලින් හෙබි මොවුහු අඳුරට අයත් ආත්ම වෙති. මොවුන් සාමාන්‍ය සමාජයේ ඉහළ නමක් දිනාගැනීමට  උත්සහ කරයි. (දේශපාලකයන්, ප්‍රකට ව්‍යාපාරිකයන් දෙස බලන්න. මොවුන් අහිංසක ජනයා තලාපෙලා කූට ලෙස මුදල් ගරනුයේ කෙසේද එසේය මෙම සාමාන්‍ය ප්‍රවාහයේ ක්‍රියාව).   

තවත් උගත යුතු කාරණාවක් වනුයේ මොවුන් ඕනෑම විශය ධාරාවක, ක්ෂේත්‍රයක නියැලීමයි. විද්‍යාව වැනි යාන්ත්‍රික විශයන් තුළ ද කලාව වැනි සියුම් විශයන් තුළ ද මොවුන් හමු වේ. කෙතරම් හැකියා තිබෙන මුත් මොවුන් අඳුරට අයත් බව දුක්ඛිතව කිව යුතුය. මොවුන්ට හැඟීම් විඳීමේ වටහාගැනීමේ හැකියාව සාපේක්ෂව අඩු වන අතර සහකම්පනය ද අවම ය. කූට ලෙස ස්වකීය අරමුණු ඉටු කරගන්නා ඔවුන්ට ගැඹුරු දේවල් හෝ ඔවුන්ගේම සත්‍ය වටහාදීමට යාම කළ නොහැකි ක්‍රියාවකි. විශ්වයේ සත්‍ය මොවුන්ට වටහාගැනීමට අපහසු අතර ව්‍යාජ නිදොස් බව ඔප්පු කිරීමට ඕනෑම දෙයක් කරයි. (යමෙකුගේ අඳුරු පිලිකුල් සත්‍ය තවත් අයෙකුට හසුවූ කල ඔවුන් දැඩි ලෙස ආවේගශීලි වන බව අපි දනිමු. එය මිනීමැරුමක් දුටු සාක්ෂිකරුවෙක්ව ඝාතනය කිරීමක් වැන්නකි.) මෙම අඳුරට අයත් අය ආලෝකයට අයත් අය විනාශ කිරීමට නොයෙකුත් දෑ කරයි. මානසිකව වැට්ටවීම, ව්‍යාජ මත පැතිරවීම යනාදී බොහෝ ක්‍රියා ඒ අතර වේ. ඊට හේතුව ද අර කී "ඇරියස්" වේ. බොහෝ විට ඔවුන්ගේ හැඟීම් ගැන ඔවුන් නොදැනුවත් ද විය හැක. 

ඇතැම් අය මත පළ කරන පැරණි ආත්ම නව ආත්ම සංකල්පයට අනුව මොවුන් නව ආත්ම විය හැකි බව කියයි. ඔවුන්ගේ විඥානයේ අපරිණතභාවයට හේතු වන්නේ පෘථිවියට පසුව පැමිණෙන හෙයින් බව කියයි. (මෙම සංකල්පයේ නිරවද්‍යතාව කෙසේ වෙතත් විවිධ මට්ටම් වල ආත්ම/ හිත්/ විඥාන/ astral bodies ඇත)කෙසේ වෙතත් මෙකී අඳුරට අයත් වන්නේ ඔවුන්ගේ ඇති තාවකාලික ප්‍රඥාවත් සදාකාලික අඥානබවත් නිසාය. 




මීට හාත්පසින්ම වෙනස් සුළුතරයක් ආලෝකයට අයත් අය වන අතර යථොක්ත පැරණි නව ආත්ම සංකල්පයට අනුව මොවුන් ඉපැරණිම ආත්ම බව කියයි. Lightworkers යනුවෙන් හැඳින්වෙන මොවුන් ආධ්‍යාත්මිකව අන්‍යන්ට වඩා ඉහළ තැනෙකත් ඉහළ සංඛ්‍යාත ප්‍රමාණයකත් සිටී. මොවුන්ට අන්‍යන්ට සාපේක්ෂව යම් යම් දෑ වැටහෙන අතර ආලෝකමත් බව නිසාම නිරන්තරයෙන් කරදර වලට මූණ පායි. ඊට හේතුව බහුතරය අඳුරු වීම නිසාය. මොවුන්ගේ ජීවිතයේ මුඛ්‍ය පරමාර්ථය වනුයෙ පරාර්ථකාමීව ලෝකයාට සේවය කිරීමයි. අන්‍යන්ට වඩා ඉතාම වෙනස් වීම නිසා මොවුන් හා සන්නිවේදනය අසීරුය. එවන් අවස්ථාවක මොවුන් නවතිනුයේ අනෙකාගේ වටහාගැනීමේ ධාරිතාව අඩු වීම නිසා විනා ඇතැම් අඳුරු අය මෙන් විශ සහගත බව පෙන්වීමට නොව. මොවුන්ගේ අභ්‍යන්තරය නිරන්තරයෙන් වෙනස් වේ. ඒ ඔවුන් ආධ්‍යාත්මික ගවේෂණයක සිටින හෙයිනි. විශ්වයේ සත්‍ය ගැන යම් අවබෝධයක් ඇත්තන් වෙයි. සමාජශීලි බව ඉතාම අඩු මොවුන්ගේ ශුන්‍යවාදි බව ඉතා ඉහළය. ඊර්ෂ්‍යාව, කුහකත්වය වැනි බොහෝ කෙලෙස් අවම, බොහෝ විට නොමැතිම වන අතර, ඔවුන් සතුව අන්‍යන්ට සාපේක්ෂව බහු විධ හැකියා පවතී. එහෙත් ඒවා අන්‍යන්ට සාපේක්ෂව ඉස්මතු වන්නේ සුළු වශයෙනි. ඉතාම සංවේදි හදවත් ඇති මොවුන්ගේ සැබෑ පෞර්ෂය වත්මන් සමාජයේ කලාතුරකින් දක්නට ලැබේ.සිය පෞර්ෂය නඩත්තු කිරීමට මොවුන් අඳුරු අය මෙන් කිසිවක් නොකරයි. ඔවුන් සතුව අන්‍යන්ට සාපේක්ෂව දැවැන්ත පෞර්ෂයක් ඇත. මන්ද ඒවා දේවත්වයට, සක්විති පදවියට, සාන්තුභාවයට ඉතාම කිට්ටු බැවිනි. තාවකාලික ප්‍රීතිය ප්‍රතික්ෂේප කරන මොවුන්ට ලෝකෝත්තරත්වය පිළිබඳ අවබෝධයක් තිබේ. අනන්‍යන්ට සාපේක්ෂව මමත්වයෙන් තොර වෙයි. 


ඔබ කෙතරම් වැරදි වූවත්, නිවැරදි වූවත් ඔවුන් ඔබට මෛත්‍රී කිරීම නොනවතයි. ඔබ හා කතා කළ ද නොකළ ද ඔබ ඔවුන්ගේ පරිණතභාවයේ හා පෞර්ෂයේ මට්ටම වටහාගෙන නිහඬව මවක් කුඩා දරුවෙකුට කරුණාව දක්වන ආකාරයට අනුකම්පා කරමින් මෛත්‍රී වඩයි. ඔවුන් යහපත පතමින් උපකාර කරයි. 


ඉදින්, අවංකව ඔබ ඔබගෙන්ම ප්‍රශ්න කොට විමසන්න ඔබ කව්ද සහ ඔබ අවට සිටින අය කව්ද කියා. ඔබත් අඳුරේ ලක්ෂණ දරන්නෙක් නම් නිහතමානීව අභ්‍යන්තරය වෙනස් කරගන්න. අඳුරේ අය අවට සිටී නම්, ඔවුන්ට අනුකම්පා කරන්න. ඔබ ආලෝකයේ ලක්ෂණ දරයි නම් ඉදිරියටම යන්න. 


Monday, April 10, 2023

ඔබව දැකගත හැකි හොඳම කැඩපත

 ඔබ යම් දිනයක ඔබේ මුහුණ සැබෑවටම දැක තිබේද.? පිළිතුර නැහැ. ඔබ බොහෝවිට ඔබේ මුහුණ දකින්නේ ඔබේම ප්‍රතිබිම්බයක් වශයෙන් කැඩපතකින්. එහෙමත් නැත්නම් ජායාරූපයකින්.


ඔබට ඔබගේ මුහුණේ ස්වරූපය නිවැරදිව, විරූපී බවකින් තොරව දකින්නටනම් ඇද පලුදු වලින් තොර දර්පණයක් අවශ්‍යයි. යම්කිසි අවස්ථාවක එවැනි පලුදු වූ කැඩපතක් හරහා ඔබේ මුහුණේ ප්‍රතිබිම්බය විරූපීව දුටුවහොත් ඔබ වහාම එය ඉවතලා නව කැඩපතක් මිලට ගැනීමට පෙළඹෙනවා. ඒ හරහා ඔබට යළි ඔබව දැකිය හැකියි. නමුත් එය හුදෙක් ප්‍රතිබිම්බයක් පමණයි.





එහෙත් ඔබට ඔබව නිවැරදිවම දැකිය හැකි කැඩපත කුමක්දැයි ඔබ කිසිදිනෙක සිතා තිබේද.? බොහෝවිට එවැන්නක් ඔබට සිහි නොවන්නට ඇති. ඔබට ඔබව නිවැරදිවම දැකිය හැකි කැඩපත බවට පත්වන්නේ ඔබේම මනසයි. පලුදු වී ගිය කැඩපතකින් ඔබේ ප්‍රතිබිම්බය විකෘතිවන්නේ යම්සේද, මනස ව්‍යාකූල වී පලුදුවූ විට ඔබට ඔබව නිවැරදිව දැකගන්නට නොහැකිවනවා.


ඉතින් දැන් ඔබට ඔබේ මනස පළුදු නොවී පවත්වාගන්නේ කෙසේදැයි ගැටලුවක් පැනනගින්නට ඇති. ඔබේ මනස හුදෙක් ජල බඳුනක් හා සමයි. එයට පවතින්නට හරින්න..එවිට එය ස්වභාවිකවම නිශ්චලත්වයට පත්වේවි. මනස හුදෙකලාවේ තබන්නට උත්සාහ කරන්න එය එවිටද නිශ්චලත්වයට පත්වේවි. නමුත් ඔබ හුදෙකලාවට සහ නිහැඩියාවට බියනම්, ඔබ ඔබේ මනස සමග තනිවීමට බිය දුර්වලයෙක් බව වටහාගෙන, මනස සමග තනිවීමට ඔබ තුල ඇති බිය පලවාහරින්න. බාහිර සාධක සමග ගනුදෙනු කිරීමේදී ඇතිවන වේදනාවන් සහ කැලඹීම් හරහා ඇතිවන කම්පනය අවශෝෂණය කරගැනීමට එවිට ඔබට හැකිවේවි.


මෙම මනස නමැති කැඩපතක් වන් ජල බඳුනෙන් ඔබට ඔබවම දිස් වන්නේ එය නිශ්චලව, පිරිසිදුව තිබෙන විට පමණයි. ප්‍රායෝගිකව ජලය මත අපේ ප්‍රතිබිම්බ දැකීමේදි අප එය අත්දැක තිබෙනවා. ජලය පිරිසිඳු වන තරමට එහි ගැඹුරද පැහැදිලිව පෙනෙනවා. සිතන්න, ඔබ එම ජල බඳුන කලම්භනයට පත් වන්නට ඉඩ හැරීමෙන් එය වටා ඇති කසල ජලය ඇද ගන්නවා මෙන්ම වටා පිටාවටද ජල තරංග හරහා කසල හලනු ලබනවා. එමඟින් ඔබේ ජල බඳුන පමණක් නොව, අවට ඇති ජල බඳුන් ද ඔබේ කසල වලින් දූෂ්‍ය වෙනවා,ඔබේ ජල බඳුනද එම බඳුන්හි කසල වලින් දූෂ්‍ය වූ ලෙසම. එබැවිම් ඔබේ මනස නමැති මෙම ජල බඳුනේ කසල වහාම ඉවත් කොට හරින්න. නිරන්තරයෙන් ජල බඳුන නිශ්චලව තබන්න, වතුර පල් වී ඇත්නම් නැවුම් පැන් පුරවන්න. පිවිතුරු, නිසල ජලය මත ඔබේ පිළිඹිබුව මෙන්ම එහි ගැඹුරද මනාව දිස් වේවි.


ඔබව දැක, හඳුනාගැනීමෙන් ඔබට ඔබේ මනස මෙන්ම පිවිතුරු නිශ්චල දිවි පෙවෙතක් ගත කිරීමට හැකි වේවි.


Saturday, April 8, 2023

ඔබත් දුර්වල ගොදුරක්ද.?

 




බිලියන 08කට ආසන්න ලෝක ජනගහනය අතුරින් ඔබ එක්තරා දුර්වල ගොදුරක්.ඔබ හොදින් දන්නා හදුනන එක්තරා දඩබිමක භයානක විලෝපික සත්වයෙක් සහ ඔබ තනිව ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක සටනක නියැලෙනවා.මේ සටනින් ජයගැනීමටනම් ඔබ ඔබව ගොදුරුකරගනු ලබන දඩයක්කරුවා පිළිබඳවත්, දඩබිම පිළිබඳවත් යම් අවබෝදයක සිටිය යුතුයි..

ඔබ කුඩා බිළිදෙකු ලෙස මෙලොව එළිය දකින නිමේෂයේ ඔබේ මනස හිස් කඩදාසියක් හා සමානයි.සාමාන්‍ය ව්‍යවහාරයට අනුව " රහතෙක් සහ ඉපදී හය දවසක් නොයික්ම වූ කුඩා බිළිඳෙක් " මනසින් එක හා සමාන බව පැවසෙනවා. එනම් ඔවුන්ගේ සිතුවිලි ශූණ්‍යයි. නමුත් ඔබ ක්‍රමිකව ශාරීරිකව සහ මානසිකව විකසනය වීමේදී ඔබගේ මනස තුල ඇති බිලියන 100කට අධික නියුරෝන අධිවේගයකින් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා.

මේ ආකාරයට අධිවේගයකින් ක්‍රියාත්මක වන මිනිස් මනසේ මූලිකම සහ සරලම හැඟීම කුතුහලය ලෙස අපට අර්ථදක්වන්නට පුලුවන්. ජීවය ඇරඹුණු දා පටන් මානව පරිණාමය ආරම්භ වී මේ දක්වා පැමිණි පරිණාමීය ගමන් මගට හේතුපාදක වන මූලබීජය බවට පත්වන්නෙ මෙම  කුතුහලය නම් අපූර්ව හැඟීම. මිනිස් මනසේ කුතුහලය ඇරඹි මොහොතේ පටන්, ඉදිරියට එළඹෙන සෑම මොහොතක්ම වඩාත් වික්‍රමාන්විතයි..වඩාත් වෛවර්ණයි. අතිශයෙන් ඉද්‍රජාලිකමයයි..එය කෙතරම් රසාලිප්තදැයි කිවහොත් මිනිස් මනස වහා ආසක්ත වන සුළුයි.

මේ ආකාරයට කුතුහලය ඔත්සේ මනස මෙහෙයවන ඔබ, බරිබාහිර ලෝකයෙහි පවතින විවිධාකාරයේ වස්තූන්ට කමක්‍රමයෙන් ආසක්ත වන්නටත් ආශාව ඔත්සේ ක්‍රියාත්මක වී අයත් කරගන්නටත් අයත් කරගත් වස්තූන් කෙරේ තවදුරටත් ලොබ බඳින්නටත් පටන් ගන්නවා. මේ ආකාරයට ඔබ , යහපතත් අයහපතත් අතර වූ වපසරිය තුල විහිදගිය දඩ බිම තුල වෙසෙන ඔබවත්, ඔබේම මනසේ මායාව නම් රුදුරු විලෝපිකයාවත් සිරකොට ශක්තිමත් සිරකූඩුවක් තැනීම ආරම්භ කරනවා.

 ඔබ මේ ආකාරයට ඔබේම මනසේ සිරකරුවෙකු බවට පත් වෙන්නෙ, බොහෝ විට මානවයා තුල ස්වභාවයෙන්ම පවතින අධික ආශාව සහ කුතුහලය නිසා, නොඑසේනම් නොදැනුවත්කම නිසා. උදාහරණයක් ලෙස රැවටිලිකාර පෙම්වතෙකු හෝ පෙම්වතියක දෙස බලන්න. ඔහු/ඇය තුල පවතින දුර්ගුණයන් පිළිඹඳව පූර්වනිගමනයක් ලබාගත නොහැකි නිසා ඔබ ඇත්තැම්විට ඔහුට ලං වේවි. ඔහු හෝ ඇය හා හදවතින් බැඳේවි.(attachment)  ඔබට පුළුවන් නම් ඔහු හෝ ඇයගේ නියම තත්ත්වය පිළිඹඳව කල්තබාම හඳුනාගන්න, ඔබ ඒ හා බැඳෙන්නේ නැහැ.මෙය ලොව ඕනෑම දේකට බෙහෙවින්ම පොදු තත්ත්වයක්.එයයි සත්‍ය. ලෝකය පිළිඹඳව සෙවීමට අපව පොළඹවන කුතුහලය නම් මෙවලමත්, ආශාව නැමැති අවියත් යහපත් අරමුණක් වෙනුවෙන් යොමු නොකලහොත් ඔබට සිදුවන්නේ ඔබව ගොදුරු කරගන්නට දෑස් දල්වා බලා සිටින භයානක විලෝපිකයාගේ ගොදුරක් බවට පත් වන්න. ආශාව තව දුරටත් ව්‍යාප්ත වන විට, ඔබව තව දුරටත් දුර්වල කල හැකි ඊර්ෂ්‍යාව, වෛරය, මෝහය ආදී තවත් බොහෝ උපක්‍රම වලින් ඔබට පහර දී ඔබව දුර්වල කරන්නට අර භයානක සත්වයා බලාසිටිනවා.

නමුත් මේ මොහොතේදීත් ඔබ ජීවත් වන්නේ ඔබ විසින්ම තනාගත් සිරකූඩුවක බව වටහාගන්නට ඔබට හැකිනම්, තවදුරටත් සිරකරුවෙකු සහ ගොදුරක් බවට පත් නොවී ඔබට හැකියාව ලැබේවි ඔබව සීමාන්තික කල සිරකූඩුව් කඩාබිඳ දමා අර භයානක විලෝපිකයා සදාකාලයටම පරාජය කර දමන්න. ඒකට කරන්න තියෙන්නෙ ඉතාම සුළු දෙයක්. හැම කෝණයකින්ම දේවල් දිහා ඉතාම සාධාරණ විදිහට බලමින් ඔබේ සියලුම සිතුවිලි පිරිසිදු කරගන්න. යහපතටත් අහයපතටත් යොදාගතහැකි ඔබගේ හැඟීම් යහපත උදෙසා පමණක් යොදාගන්නට පෙළඹෙන්න. එවිට ඔබ,තවදුරටත් ඔබේම මනසේ මායාව නම් භයානක විලෝපිකයාගේ ගොදුරක් බවට නොවේවි.

 ඇතැම් විට කසල ගොඩක් අසල වාසය කිරීමට දෛවය විසින් ඔබට ඉඩ සලසන්නේ, කසල දුගන්ධය, කසල පිලිස්සෙන රස්නය, මිනිසුන් කසල විසි කරන විට නිවසට හා ශරීරයට...